Saturday, August 24, 2013

ඉන්ද්‍රජාලිකයාගේ පානය


ඔහු පානය කරමින් සිටියේ කුමක්ද? ප්‍රේක්ෂකාගාරය බලා සිටියා. වස! වස බීම අත්හදා බලන්න. කවුරැත් ඉදිරිපත් නොවුණු නිසා ඔහු එය හාවෙකුට පෙව්වා. එක් ක්ෂණයකින් හරස් අතට පෙරළී වැටෙන හාවා ගැන මිනිසුන් කිසිවෙකුටවත් දුකක් ඇති වුණේ නැහැ. ඔවුන් හාවා මිය යන දෙස බලා සිටියේ ඉන් මොහොතකට පසු එළැඹෙන්නට තිබුණු ඉන්ද්‍රජාලිකයාගේ වස පානය වෙනුවෙන්. ඔවු! ඔබ පළමු පේළියෙන් අත්වින්ඳේ එම උත්කර්ෂයයි.

ඉන්ද්‍රජාලිකයා මිය ගියේ නැහැ. ඒ සමඟම ප්‍රේක්ෂකයන් පිරිසක් විස්මයට පත් වුණා. තවත් පිරිසක් හාවුන්ට විෂවන මිනිසුන්ට විෂ නොවන පානයක් ගැන කල්පනා කළා. එසේ නිර්භය මිනිසෙකු නැවත පානය අත්හදා බලන්නට තීරණය කළා. විෂ තොල ගෑවෙන සැණින් ඔහු මිය ගියා. ප්‍රේක්ෂකයා අත්පුඩි ගැසුවා. ශාලාවේ වැඩ කටයුතු බැලීමට සිටි සීයා දෙඟිඩියාවකින් සිටියා. ඒ ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොළසන් නැගෙනුයේ මියගිය නිර්භය මිනිසාටද, මිය නොගිය දක්ෂ ඉන්ද්‍රජාලිකයාටද යන්නටයි.

මිනිසුන් සියල්ලෝම ඉන්ද්‍රජාලිකයාගේ පානය සම්බන්ධයෙන් විමසිලිමත් වුණා. ඒ අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඉන්ද්‍රජාලිකයා වැඩසටහනට ඒමට පෙර යමක් පානය කරනු දැක තිබුණා. එම බෝතලය සොරකම් කළ ඔහු එම වැඩසටහනේ දෙවැනි කොටසේදී යළිත් වරක් පෙර ඉන්ද්‍රජාලය කිරීමට ඉන්ද්‍රජාලිකයාට යෝජනා කළා. ඒ මොහොත වනවිටත් ප්‍රේක්ෂකාගාරයේ පිරිසෙන් භාගයක්ම බෝතලයම පානය කර තිබුණා.

ඉන්ද්‍රජාලිකයාගේ මුවඟ සිනහවක් තිබුණා. ඔහු ඔහුගේ බෝතල්වලින් නැතිවූ බෝතලය පිළිබඳ දැන සිටියා. ඔහු නැවත වරක් සංදර්ශනයේදී වස පානය කළ අතර එය අත්හදා බලන්නට ප්‍රේක්ෂකයාට ආරාධනා නොකර සිටියා. ප්‍රේක්ෂකාගාරයේ සිටි බොහෝමයක් මැරී වැටුණා. ඉතිරිවී සිටි පිරිසට ඉන්ද්‍රජාලිකයා ඇමතුවා.


&විෂ නැසිය හැකියි. ඒ විෂ මා නැසුවේ තවත් විෂකින්.*

බඩුද? පත්තරද? ෆාදර්ද?


දවසක්දා හාදයෙක් එකතුවෙච්ච පත්තර ටිකක් අරං බොතල්-පත්තරකාරයෙක් එනකං බලං හිටියලු. උදේම ආපු කිරිකාරයත් පත්තරකාරයත් ලියුම්කාරයත් උන්ගෙ රාජකාරි කරල චුත වුනාට පස්සෙ මේ හාදයට පාරේ ඈතින් ඇහුනලු බෙල් සද්දයක්. බෝතල්-පත්තරකාරයෙක් කියල හිතාගෙන පාරට බැස්සට ඒ ආවෙ බොම්බයිමොටයිකාරයෙක්ලු. විස්සක බොම්බයිමොටයි අරගෙන කෑවත් හිතට මදි නිසා ඈතින් යන බොම්බයිමොටයිකාරයට ආපහු කතාකරල තව තිහක බොම්බයිමොටයි ගත්තලු. කොච්චර වෙලා මග බලං හිටියත් මේ බොතල්-පත්තරකාරය එන්නැති නිසා මූ තීරණය කරාලු බොතල්-පත්තර ගන්න තැනකට පත්තර මිටිය අරං යන්න.



මේ විදියට පත්තර මිටියත් කර තියං බොරැල්ල හරියට යද්දි(පුංචි බොරැල්ලෙ ඉඳං) පොලිස්කාරයෙක් මූව නවත්තගත්තලු. මුගේ තිබ්බ ක්‍රිමිනල් ලුක් එකට සැක හිතිල මූව නවත්තපු ට්‍රැෆික්පොලිස්කාරය කෝකටත් කියල වෝකිටෝකියෙන් ලඟම ආරක්ෂක පොට් එකට කතා කළාලු. ටිකකින් රූං ගාගෙන ඇවිල්ල නැවැත්තුව ට්‍රේලකින් බැස්සලු ආමිකාරයෝ දෙන්නෙක්. පොලිස්කාරය ආමිකාරයො දෙන්නට මේ හාදයව අඳුන්නල දුන්නෙ අයිආර්සීකාරයෙක් විදියටලු. ඒත් ආමිකාරයො දෙන්න හිතුවෙ මූ බෝම්බකාරයෙක් කියලලු. මේ විදියට ඇස් හයකින් හිටගෙන ස්කෑන් වෙද්දි මුගේ හිතට බය පොජ්ජ මන්දු කොලාලු. හිතට මුලිම්ම ආපු ගොබ්බ සිතුවිල්ල වුනු පාර පුරා දුවන එක මූ අකුරටම ක්‍රියාත්මක කරාලු. ආමිකාරයො වෙඩි තියයි කියල බයේ සිග්සැග් දුවපු මූ තවත් සිග්සැග් ආපු කසිප්පුකාරයෙක්ගෙ ඇඟේ හැපිල වැටුනලු.



පහුවදාට එළිවෙද්දි මූ හිටියෙ කූඩුව ඇතුළෙ. පොලිස්කාරයො දෙන්නෙකුයි පිම්පියෙකුයි එළියෙ ඉදන් මූට කෝචොක් එකට හිනාවේගන හිටිය. සුළු අපරාධ පැමිණිල්ලක් කරන්න ආපු උත්තම අම්මණ්ඩි කෙනෙක් ජැන්ඩියට ඇඳල කූඩුව ඇතුලෙ ඉන්න මූ දිහා බැලුවෙ බඩුකාරයෙක් දිහා බලනව වගේ. ෆාදර්කාරය ඇවිල්ල මූව එළියට ගන්නකොට මුගෙ හොඳ පණ ගිහින්. ගුටිත් කාල. පුකේ හොඳ වෙලාවට දයාසිරිකාරයට වෙච්ච එව්ව වෙලා නෑ. මූ නැග්ග එකසිය තුනක. යමර වේගෙන් බස් පදින ඩ්‍රැයිවර්කාරය දිහා මූ බලං හිටිය. පහුවෙමින් තිබ්බ එල්ෆින්ස්ටන් ඉස්සරහ කලාකාරයො වගයක් හිටිය. 3.30 ෂෝ එකට වේලසන රියසල් ඇවිත් වගේ. බස් එකේ පිටිපස්සෙ හිටපු රස්තියාදුකාරයො ටිකක් කලාකාරයොන්ට හූ කිව්ව. ෆාදර්කාරය එක්ක ගෙදර නොගිහින් මූ කොටුවට ආවෙ මේ වුනේ මොකද්ද කියන දේ ගැන ආපහු හිතන්න හිතාගෙන.

බිස්නස්කාරයො පිරිච්ච කොටුවෙන් මිදිල මූ ගෝල්ෆේස් ආව. අන්නාසිකාරයො සරුංගල්කාරයො අස්සෙන් ඇවිත් ඌ මං හිටි තැනට පොඩ්ඩක් එහායින් හිටගත්ත. තමංව මෙච්චර ආගාධෙකට වැට්ටුව පරණ පත්තර මිටිය දිහා ඌ කේන්තියෙන් බලං හිටිය. ඔරුකාරයෙක්කත් නැති ගෝල්ෆේස් එකේ ක්ලාක්කාරයොත්, ලොකුබිසිනස්කාරයොත්, පොඩිබිස්නස්කාරයොත්, මැනේජර්කාරයොත් එකම හුළඟෙ එකම කෑම කකා තමන්ගෙ පවුල් එක්ක විනෝද වෙන හැටි ඌ බලං හිටිය. අත දාල ත්‍රීවීලර්කාරයෙක්ව නවත්තගත්ත ඌ ඒකෙ නැගල ගියා. බොහොවිට ඇඟේපතේ තැළුංවලට බෙහෙත් ගන්න ඩොක්ටර්කාරයෙක් ගාවට යන්නැති. පොකට්කාරයෙක් වේගෙන් දුවගෙන ගියා. කැමරකාරයෙක් ඉරබහිනව ෆොටෝගත්ත. මාලකාරයෙක් පහේ කාසියෙන් හදපු මාල සීය ගානෙ විකිණුව. වඩේකාරයො ඉස්සො කකුළුවො පෙන්න පෙන්න බෙරිහං දුන්න. අරූ හිටං ඉඳපු තැන පත්තර ගොඩ එහෙම්මම තිබුන.


මෙතැන් ඉඳන් ඉදිරියට මට හිතිච්ච දාට පලවෙන්නෙ ඒ පත්තර ගොඩේ ඕනවට එපාවට පැන්සලකින් රවුම් කරල තිබ්බ පුංචි කතා ටිකක්. වෘත්තියෙන් පත්තරකාරයෙක් වෙච්ච මට ඒ කතා ටික වටිනව. මං ඒවට ආස කරනව. මේ කතා පරණයි අඩුම තරමෙන් මාසයක් දෙකක්කත්. වැඩිම තරමෙන් අවුරුද්දක්වත්. මේ බ්ලොගට 'කාරය' කියන නම ගන්නෙ මට හදිස්සියෙ හිතිච්ච නිසා. මින් ඉදිරියට මේකට වැටෙන පුංචි කතාවල අන්තර්ගතය මගේ වුනාට මේ දේ මේ විදියට කරමු කියල මගේ හිතමිතුරෙක්(මැණික්කාරයෙක්) බොහොම පෙරැත්ත කළා. එනිසා මේකෙ පිදුම ඌට. ඒකට සතුටු වෙලා හෑන්ඩ්ෂේක් පාරක් දාලා නිදාගන්නැතුව මේකට ලස්සන වටපිටාවක් හදල දෙන්න කියල මං උගෙන් ඉල්ලා සිටිනව.